සංග්‍රාම ඉතිහාසය

මනුෂ්‍යයා බිහිවූ දා පටන් ලොව සෑම රටකම කුමන හෝ යුද්ධයක් සිදුව තිබේ. එවන් අවාසනාවන්ත තත්ත්වයන් ඇතිනොවූ රටක් අතීතයේ හෝ වර්ථමානයේ සොයා ගැනීම අසීරු කරුණකි. ලංකාවටද මෙම සංසිද්ධිය පොදු දෙයක් වූහ. අතීතයේදී ලංකාවේ රජු වූ රාවණා රජු හා භාරතයේ රාම කුමරු අතර යුද්දයක් සිදූවු බව වාල්මිකීගේ රාමායණය නම් කෘතියේ සදහන්වේ. විජය කුමරු පැමිණි පසුද මෙහි ස්ථාවර වීම සදහා යම් සංග්‍රාමයක නියැලෙන්නට සිදූවූ අතර එය යුද්ධයකටත් වඩා යම් රහස් ඝාතන ව්‍යාපාරයක් යයි පැවසුවත් වැරැද්දක් නැත. විජය රජුගේ රාජ්‍ය කාලයෙන් වසර සියයක් ගතවූ තැන රාජ්‍යත්වයට පත් පණ්ඩුකාභය කුමරුට සිය රාජ්‍යත්වය ලබා ගැනීමට මෙන්ම සිය දිවිරැක ගැනුමටද, තම මවගේ සහෝදරයන් වූ සිය මාමාවරුන් සමග දස අවුරුදු යුද්ධයකට පැටලෙන්නට සිදුවූ බවද මහාවංසයේ සදහන් වේ.


ලේ වැකුන, ජීවිත හානිය ගෙනදෙන, දෙමව්පියන්ට දරුවන් අහිමිවන, සහෝදර සහෝදරියන්ට සිය සොහොයුරා අහිමිවන, දරුවන්ට සිය පියා නැතිවන, බිරිදට තම ආදරණීය ස්වාමිපුරුෂ්‍යා අහිමි කරන යුද්ධයන් කිසිකලෙක අනුමත නොකලත් සිය දේශයේ පැවැත්ම උදෙසා කරනා ලද යුද්ධයන් නිසා අනාගත පරපුරටද රටක් ඉතිරිකර දීමේ මහඟු කාර්යය නිසාම සිංහලයන්ගේ යුද ශිල්පය පිළිබදවද සටහනක් තැබිය යුතුය.


මෙම සටහනේ ආරම්භයේදී සටහන් කලාක් මෙන් රාවණා-රාම යුද්ධය හැරුන කොට මෙරට බොහෝ විට මුල්කාලීනව සිදූවී ඇත්තේ ප්‍රාදේශීය මට්ටමේ හෝ රට අභ්‍යන්තරයේ යුද ගැටුම් පමණි. බොහෝවිට ඥාතීන් අතර බලය වෙනුවෙන් සිදුවන ගැටුම් මෙන්ම වෙනත් කණ්ඩායමක් සිය බලය පැහැර‍ ගැනීමට සැරසෙන විට ඇතිවන ගැටුම් මේ ආකාරයේ අභ්‍යන්තර යුද්ධයන් විය.


එහෙත් සිංහල රාජවංශ කතාව ඇරඹී වසර තුන්සීයයක පමණ කාලයක් ඉක්ම යත්ම මෙරට ප්‍රථම විදේශීය ආක්‍රමණය සිදුව තිබේ. එම අවස්ථාව නම් සූරතිස්ස රජු ඉන්දියානු ද්‍රවිඩ අශ්ව වෙළෙන්දන් දෙපලක් වූ සේන හා ගුත්තික යන අයගේගේ ආක්‍රමණයට ලක්වීමයි. සූරතිස්ස යනු මුටසිව රජුගේ පුත්‍රයෙකු හා දේවානම්පියතිස්ස රජුගේ බාල සොහොයුරෙකි. මේ වන විට මහින්දාගමනය සිදූවී වසර හැටක් පමණ ගතව තිබූ අතර සිය සොහොයුරා‍ මෙන්ම බෞද්ධාගමේ චිරස්ථතිය ලක්දීව ස්ථාපනය කරනු වස් තම කාලය, ශ්‍රමය වැය කරමින් සිටි සූරතිස්ස රජුට මෙවන් ආක්‍රමණයකට මුහුණ දීම සදහා සිය සංග්‍රාමික බලය ශක්තිමක් කිරීමේ හැඟීමක් නොතිබුනා සේම එ වන විට මෑත අතීතයේදී මෙවන් විදේශිය ආක්‍රමණයකට ලක්දිව කිසිදු රජෙක මුහුණ නොදී තිබූ බැවින් එවන් හදිසි තත්ත්වයකට මුහුණ දී‍මට තරම් අත්දැකීම්ද සූරතිස්ස රජුට හෝ ඔහුට පෙර මෙහි විජය රජුට පසුව රජකම්කල රජවරුන්ට නොවීය. මේ නිසා පහසුවෙන්ම සූරතිස්ස රජු නෙරපා රාජ්‍යත්වය ඩැහැගැනීමේ අවස්ථාව සේන-ගුත්තික වෙළඳ දෙබෑයන්ට හිමිවූ අතර ආක්‍රමණිකයන් වූවත් ඔවුන්ද ධර්මයෙන් රජකම් කළ බව මහාවංසයේද සටහන්ව තිබේ. වසර විසිදෙකක් තිස්සේ සේන හා ගුත්තික යන දෙදෙනා ලක්දිව රාජ්‍යත්වයේ කිරුළ ඉසිලු අතර කෙතෙරම් ධාර්මික වූවත් ආක්‍රමණිකයෙකුගේ පයට පෑගී වාසය කරනවාට වඩා තම උරුමය රැක ගැනීමට කැපවූ සිංහලයන් සිටි මෙරටේ, සූරතිස්ස රජුගේ තවත් සොහොයුරෙකු වූ අසේල විසින් මෙම අක්‍රමණිකයන් දෙදෙනා පළවා හැර සියතට මෙරට රාජ්‍යත්වය ලබා ගන්නා ලදි.


සේන හා ගුත්තික යන දෙදෙනාට පහසුවෙන්ම ලක්දිව ආක්‍රමණය කිරීමට හැකිවීම තුලින් මෙරට පහසුවෙන් නතුකර ගත හැකි රටක් යන වැරදි අදහස දකුණු ඉන්දියාව තුල ඇතිවුනි. මේ නිසාම අසේල රජුට රජකම් කළ හැකිවූයේද වසර දහයක (ක්‍රි.පූ.155 – 145) කාලයක් පමණි. අසේල රජු පළවා හැර ඉක්බිති මෙරට සිහසුනට පත්වන්නේ ලංකාව ආක්‍රමණය කළ ප්‍රභලම විදේශීය පාලකයා වූ එළාරය.


එළාර රජු පිළිබදවද මහාවංසයේ සටහන්ව ඇත්තේ ධාර්මික රජ කෙනෙකු බවයි. එහෙත් ඔහුගේ නිළධාරීන් නම් රජු තරම් ධාර්මික අය නොවූ බව හා ස්වදේශික සිංහලයන් ඔවුන් අතින් විවිද තාඩනපීඩනවලට ලක්වූ බව මූලාශ්‍ර වල සදහන් වේ. එළාර රජුට සමකාලීනව රුහුණේ රජකම් කළේ කාවන්තිස්ස රජුය. මෙරට කාන්තාවන්ගේ ප්‍රතිමූර්තියවන් විහාර මහා දේවියගේ ස්වාමිපුරුෂ්‍යා මෙන්ම ලක්දිව රාජාවලියේ ශ්‍රේෂ්ඨතම රජු ලෙස පවා බොහෝ දෙනා සලකන දුටු ගැමුණු රජුගේ සහ ඔහුගේ සොහොයුරු සද්ධාතිස්ස කුමරුගේ පියාණන්ද කාවන්තිස්ස රජුය.


මහාවංසයයට අනුව සතුරු ආක්‍රමණයන්ට මුහුණදීම සදහා ආරක්‍ෂක හමුදාවක් සූදානම් කර තිබූ ප්‍රථම රජු ලෙස කාවන්තිස්ස රජු ලෙස සැලකෙතත් එළාර නෙරපා දමා රාජ්‍යත්වයට පත් ඔහුගේ පුත් දුටු ගැමුණු රජුගේ සෙවනැල්ලෙන් කාවන්තිස්ස රජු ආවරණය වී තිබීම හා දුටු ගැමුණු කතාවස්තුව ගෙනහැර පෑමේදී කාවන්තිස්ස රජු එළාර සමග සටනට මැලිවීම හා පසුව එයට උරණව කොත්මලේට පැනයන ගැමුණු කුමරු කාන්තා අභරන සිය පියාට එවීම වැනි කරුණු වලින් කාවන්තිස්ස රජුගේ නියම ස්වරූපය පසුකාලීන ලේඛකයන් විසින් වසංකර ඇති නිසා බොහෝ දෙනා සිතන්නේද කාවන්තිස්ස රජු බියසුල්ලෙකු බවයි.


එහෙත් එම නිගමනය සාවද්‍ය බව මහාවංසය හදාරණ අයෙකු‍ට හෝ මහාවංසයේ තොරතුරු නියමාකාරයෙන් පසුකාලීන ලේඛණවලට යොදා ගත් ලේඛකයන්ගේ කෘති පරිශීලනයෙන් පෙනී යයි. කාවන්තිස්ස සාමකාමී බවට කැමත්තක් දැක්වූවෙකු ලෙස යුද කාර්යයේදී ඔහු දක්වන ලද කාර්යභාරය සැගවී යාමට තවත් හේතුවක් විය. තවද දුටු ගැමුණු රජුට පසුකලෙක එළාර ‍පරාජය කොට නැවත අනුරාධපුර‍යේ සිය රාජධානිය පිහිටුවීමටද තම පියා විසින් දියත් කර තිබූ ආරක්‍ෂක විධිවිධානයන්ද ආධාරකයන් වූ බව ‍‍බොහෝදෙනා අමතක කර ඇති කරුණකි.


ආසන්න කාලවලදී පිට පිට දෙවතාවක් පරසතුරු ආක්‍රමණවලට අනුරාධපුර රාජධානිය ලක්වීම නිසා තමන් පාලනය කළ රුහුණු රාජධානියටද එම සතුරු බලපෑම ඇතිවේය යන සැකයද සහිතව පෙර සිටම රාජ්‍යයේ ප්‍ර‍වේශ මාර්ග ආරක්‍ෂා කිරීමට මෙන්ම සේනාසංවිධානයටද වගබලාගත් අයෙකු ලෙස කාවන්තිස්ස රජු හැදින්විය හැකිය. ඔහු විසින් සතුරන් සිය රාජධානියට කඩාවැදිය හැකි මහවැලි ගගේ වැදගත් තොටුපලවල් සියල්ලේම ආරක්‍ෂක රැකවල් නිරතුරු තරකර තැබීමට වගබලා ගත්තේය. ඒ අතරින් කසා තොට නම් තොටුපල ප්‍රධාන කොට ගත් අතර රහසේම සේනා රැස් කිරීමද සිදු කළේය. කසාතොටට නුදුරේම පිහිටි ගව් අටක් අතර දුර පිහිටි ගම්නියම්ගම් වල ජීවත්වන කුලවත් පවුල් වල එක් පුත්‍රයෙකු බැගින් කසා තොට කඳවුරට බදවා ගනු ලැබීය.


කාවන්තිස්ස රජු සිය හමුදාවට බදවා ගත්තේද දක්‍ෂ, එඩිතර, ශක්තිමත් තරුණයන් බව මහාවංසයේ පැවසේ. එසේම ඒ අතරින් අයෝමය ශක්තිය තිබූ දසමහා යෝදයන් ලෙස හැදින්වූ පුරුශයන් කේන්‍ද්‍රගත කරගනිමින් එක් එක් ‍අය ප්‍රධාන කොටගත් එක් කුඩා ඒකකයකට දහය බැගින් වූ ඒ ඒ ඒකක දහයක් එක්කර තවත් විශාල ඒකකයක්ද, එම ඒකක තවත් ඒකකයකට අනුයුක්ත කරමින් ඊටත් විශාල සේනාවන්ද ඇතිකරමින් සුරුවිරුකම් ඇති එකොළොස් දහස් එකසිය දහයක ස්ථිර භට හමුදාවක් බිහිකරන ලද බව පැවසේ. මෙම සියළුම දෙනාට රජු විසින් දීමනාද ලබා දී ස්ථීරවම හමුදාවක් ලෙස පවත්වාගෙන යාමෙන් අවශ්‍ය වූ විටක සතුරාට මුහුණ දීමේ පෙර සූදානම ඇති කර ගැනීම පසු කළෙක දුටු ගැමූණු කුමරුටද තම වෑයම සඵල කර ගැනීමට හේතුවක් විය.


දීර්ඝ මෙන්ම මහා යුද ගැටුමකදී පෙර සිටම යුදායුද මෙන්ම ආහාර එක්රැස් කරගැනීමද අත්‍යාවශ්‍ය කාර්යයක් විය. මේ නිසාම දුටු ගැමුණු රජු සිය සතුරා මැඩලීමේ මහා සටනට එළඹෙන්නට බොහෝ කාලයකට පෙර සිටම කාවන්තිස්ස රජු තම පාලනය ඇති ප්‍රදේශවල ගොවිතැන් කටයුතු දියත් කර තිබූ අතර ඔහුගේ ඇවෑමෙන් රුහුණේ රජකමට පත් දුටු ගැමුණු කුමරුද තම සහෝදරයා වන සද්දාතිස්ස කුමරුට සිය පියා ආරම්භකරන ලද ගොවිතැන් කටයුතු තවත් වර්ධනය කිරීමට භාර කළ අතර දිගාමඩුල්ල ප්‍රදේශය එකල එකම ගොවිබිමක් ලෙස සංවර්ධනය කළ බව පැවසේ. තවද මහජනයාද හැකිතරම් ගොවිතැනේ යෙදීමට දිරිමත් කළ අතරම දුටු ගැමුණු රජතුමා පවා යුද්ධය සිදුකිරීමට පෙර ගොවිතැනේ යෙදෙමින් අනාගතය සදහා ආහාර ගබඩා කර ගැනීමේ කාර්යයට උරදී සිටි බවද සටහන් වේ.


දුටු ගැමුණු රජු, එළාර රජු සමග යුද්ධයට එළඹීමේ මූලික පරමාර්ථය එක්සත් ලංකාවක් බිහිකිරීමේ දේශපාලනික අරමුණ වුවද ඔහු ප්‍රකාශ කළේ හුදෙක් සම්බුද්ධ ශාසනය බබළවනු සදහා සටන් අරඹන බවකි (පාර ගංගංගමිස්සාමි ජෝතේතුංසාසනං අහං) යුද්ධය ඇරඹීමට පෙරාතුව තිස්සමහා විහාරය වැදපුදා ගැනීමට දුටු ගැමුණු රජතුමා ගියේ භික්‍ෂූන් වහන්සේලා සමග බව මහාවංසයේද සදහන් වේ. එසේ බෞද්ධ හිමිවරුන් පිරිවරා ගෙන රජු ගොස් ඇත්තේ ජනතාවගේ අවධානය තමන්ගේ කාර්යය වෙත වඩාත් යොමු කර ගැනීමට බවද පැවසේ. තිස්සමහාරාමය වන්දනා කිරීමට රජු ගිය විට එහි විහාරවාසී භික්‍ෂූන් වහන්සේලා තමන්ටම කරගන්නා දඩුවමක් ලෙස යුද්ධයට යෑම පිණිස භික්‍ෂූන් වහන්සේලා පන්සිය නමක් රජුට ලබා දුන් බව පැවසේ. මෙහි සදහන් වූ තමන්ටම කරගන්නා දඩුවමක් ලෙස හැදින්වෙන්නේ කලකට පෙර දුටු ගැමුණු හා තිස්ස කුමාරවරුන් අතර කලහය ඇතිවූ අවස්ථාවේ එය සමථයකට පත් කිරීමට මුලින්ම භික්‍ෂූන් වහන්සේලා ඉදිරිපත් නොවීම නිසා සොහොයුරන් දෙපළ අතර යුද්ධයක් ඇතිවීම පිළිබදව භික්‍ෂූන් වහන්සේලා කණස්සල්ලෙන් පසුවූහ. එයට අනුරූප වන ලෙස භික්‍ෂූන් වහන්සේලා පන්සිය නමක් රජු සමග යුද්ධයට යැවීමට කටයුතු කළහ.


භික්‍ෂූන් වහන්සේලා වැනි ධර්මය රකින, ධර්මානුකූලව ජීවත්වන පිරිසක් යුද්ධයක් වැනි හිංසාකාරී විනාශකාරී දෙයකට සම්බන්ධවීම අකැප දෙයක් ලෙස තර්ක කළ හැකිමුත්, විජාතිකයන්ට නතුව බෞද්ධාගම ක්‍රමයෙන් විනාශයට පත්ව යාම වැලැක්වීමට දුටු ගැමුණු රජු හා එක්නොවුනි නම් වර්ථමානයේ ලක්දිව බුදු සසුනක් නොතිබීමට වුවද ඉඩ තිබුනි. ඒ අනුව ගත් කල එදා බොදු හිමිවරුන් ගත් ක්‍රියාමාර්ගය එක්තරා ආකාරයකින් අනුමත කිරීමටද සිදුවේ.


විශාල සේනාවක් සමග අනුරාධපුරය බලා ඇදුන දුටු ගැමුණු රජු‍ ප්‍රමුඛ හමුදාවට ඒ ඒ ප්‍රදේශ වල පාලනය කළ එළාර රජු‍ගේ සෙන්පතින්වරුන් සමගද සටන් කොට සහ විවිද උපක්‍රම භාවිතයෙන් ඔවුන් මැඩපවත්වා ප්‍රදේශ අත්පත් කරගන්නා ලදි. ඇතැම් ප්‍රදේශ වල වෙහෙර විහාරද ඉදිකරන ලද අතර එයින් තම ‍සේනාවේ චිත්ත ධෛර්යය ඉහළ නැංවීමට රජු අදහස් කරන්නට ඇත. විජිතපුර මහ සටනට පෙර සේනාවේ ‍ශක්තිය, අඩුපාඩු ආදිය රජු විසින්ම පරීක්‍ෂා කළ බව පැවසෙන අතර පෙර සටන් වලදී ලද පසුබෑම් වටහා ගෙන ඒවාට අවශ්‍ය විධිවිධාන යෙදීමත් සිදු කළ බව පැවසේ.


ප්‍රාදේශීයව කරන ලද සටන් මෙන් නොව විජිතපුර සටන දුශ්කර හා තීරණාත්මක සටනක් බව දුටු ගැමුණු රජු දැන සිටියහ. විශේෂයෙන්ම ඒ ඒ ප්‍රදේශවලදී පරාජය ලත් සේනාවන්ද විජිතපුරට එක්රැස්ව පිරිස් බලය තවදුරටත් වැඩිවී තිබීම නිසා විශේෂ උපක්‍රම හා සටන් විධි මෙන්ම සේනාවේ චිත්ත ධෛර්යයද එකලෙස පවත්වාගෙන යාම මෙම සටනේ ජයග්‍රහණය සදහා අත්‍යාවශ්‍ය බව දුටු ගැමුණු රජුගේ නිගමනය වූ බවද සදහන්‍ වේ.


මුලින්ම සුදුසු සම බිමක් සොයා කඳවුරු පිහිටවා තිබෙන අතර මෙම ස්ථානය “කඳවුරු පිටිය” (ඛන්දවාර පිට්ඨි) ලෙස හදුන්වා තිබේ. සේනාවේ පිරිස් අතරින් වැඩිම විශ්වාසයක් තබා ඇත්තේ දසමහා යෝදයන් කෙරෙහි බව මහාවංසයේද සටහන් කරන අතර ඔවුන්ගේ ශක්තිය පිරික්සීමට වරින්වර විවිද ක්‍රියාකාරකම් කාහටත් නොදන්වා රජු විසින් කරවන ලද බවද පැවසේ. යුද්ධයේදී තීරණාත්මක අවස්ථා සදහා ඒ ඒ අවස්ථාවේදී ක්‍රියා කිරීමට වැඩි දස්කම් ඇති අය අවස්ථානුකූලව යෙදවූහ. උදාහරණයක් ලෙස ගතහොත් කඩොල් ඇතු, සුරනිමල හා නන්දිමිත්‍ර යන යෝදයන් යෙදවූයේ බලකොටුවේ දොරටු බිදීමටයි.


නූතන යුද ශිල්පයන් ගත් කළ එදා භාවිතා කළ කඩු, හෙල්ල, දුනු ඊතල වල තැන දැන් නවීන ගිණි අවි මෙන්ම සටනේ තීරණාත්මක වාසිය ලබා ගැනීමට න්‍යෂ්ඨික මෙන්ම රසායණික අවි ප්‍රහාරයන්ද මනුෂ්‍ය සදාචාරයද උල්ලංඝනය කරමින් භාවිතා කරයි. එදා දුටු ගැමුණු රජුට මෙම යුද්ධය ජය ගතයුතු මුත් කිසිදු අයුරකින් අසාධාරණ යුද උපක්‍රමයන් භාවිතා කිරීමට සිංහල හමුදාව ඉදිරිපත් නොවූහ. අඩුම තරමින් විශ පෙවූ ඊතලවත් සතුරාට එරෙහිව යොදා නොගැනීමට දුටු ගැමුණු රජු ප්‍රමුඛ සෙන්පතියන් වගබලා ගත්තෝය. එහෙත් එළාර රජුගේ හමුදාව එවැනි ප්‍රතිපත්තිගරුක බවක් නොදැක්වූ අතර ඔවුන්ට අවශ්‍ය වූයේ කෙසේ හෝ මෙම යුද්ධයේ ජය තමන් අතට හරවා ගැනීමයි. ඔවුන්ගේ ම්ලේච්ඡත්වය තහවුරු වන්නේ කඩොල් ඇතු පිටට උණු කල ලොහොදිය දැමූ සිද්ධියයි. මෙහිදී ලෝහොදිය සමග උණුකල කකාළ දුම්මල වැනි අලෙන සුළු ලාටු වර්ගද මුසුකොට ඇතු මහත් පීඩාවට පත්කරනා ලදි.


මෙහදී වහා දිව ගිය ඇතු දිය තුළ ගිලී වේදනාව සමනය කරගත් පසු ඇත් වෙදැදුරන් විසින් පිළියම් කරන ලදි. මෙයින් පසු ‍ඇතු අවධානම් ස්ථාන සදහා යෙදවීමේදී ආරක්‍ෂක උපක්‍රම අනුගමනය කිරීම අනිවාර්යයෙන්ම සිදුකළ යුතු බව වටහා ගත් දුටු ගැමුණු රජු ඇතු මත මී හරක් සම් අතුරා ඒ මත ලොහොදිය වැනි ද්‍රව නොරදනු පිණිස තෙල් ගා ඔප මට්ටම් කරන ලද තෙල් සම්ද අතුරුවා ඇතු මෙහෙයවන ලදි.


ඇතැම් රජවරුන්ට සිය ගිලිහී ගිය කිරුළ හෝ දීර්ඝ කාලයක් පරසතුරු ආක්‍රමණවලට මුහුණ පා සිටි රට බේරා ගැනීමට වසර ගණනාවක් පසු බැස සැගවෙමින්, සේනා සංවිධානය කරමින් සුදුසු අවස්ථාව පැමි‍නෙන තුරු බලා සිටිය යුතු අවස්ථාද විය. වලගම්බා රජුට සේම පොළොන්නරු රජධානියේ මුල්ම රජු වූ විජයබාහු රජුටද එසේ කලක් යන තුරු සිය අභිමතාර්ථයන් මුදුන් පමුණුවා ගැනීමට බලා සිටිය යුතු විය.


දුටු ගැමුණු රජුට පසුව ලක්දිව ඉතිහාසයේ යුද ශිල්පයේ දක්‍ෂ මෙන්ම විවිද උපක්‍රම හා විදේශවලට පවා ගොස් ජය ගත් රජෙකු ‍ලෙස පොළොන්නරු රාජධානියේ රජකම් කළ මහා පරාක්‍රමබාහු රජු දැක්විය හැකිය. ඔහුගේ රාජ්‍යත්වයේ මුල් කාලය ගත්විට ඔහුට සටන් කරන්නට සිදුවූයේ පර දේශක්කාර රජවරුන් සමග නොව මෙරටම ප්‍රාදේශීය රජවරු සමගයි. එම සටන් වලින් ජය ලබා ගැනීමෙන් ඉක්බිතිව ලක්දිව එක්සේසත් කළ මෙතුමා විශාල වැව් අමුණු කරවා රට ස්ව්‍යංපෝශිත කිරීමටද සිය දායකත්වය නොඅඩුව ලබාදුන්නේය.


රටක් පරසතුරු ආක්‍රමණයන්ට ගොදුරුවීමට තුඩු දෙන කාරණා සතරක් පිළිබදව එතුමා අවධානය යොමු කළහ. එම කාරණා නම් ප්‍රධාන අමාත්‍ය ආදී ඉහළ නිලයන්හි සිටින්නන් ස්වාභිමානී වූ විට, බලවත් සේ කෝප වන්නන්, බිය සුල්ලන්, ලාභ අපේක්‍ෂාවෙන් කටයුතු කරන්නන් නිසා බව එතුමා ප්‍රත්‍යක්‍ෂ කරගෙන සිටියේය. මහා පරාක්‍රමබාහු රජුද කාවන්තිස්ස, දුටු ගැමුණු මෙන් දූරදර්ශී දීර්ඝ වැඩපිළිවෙලක් යුද ශක්තිය දියුණු කිරීමට අත්‍යාවශ්‍ය බව වටහා ගෙන සිටි පාලකයෙකි. ඔහු කුමාර අවධියේ සිටම ආහාර ගබඩාව මතු යුද අවශ්‍යතා සදහා දියුණු කිරීමේ කටයුතු වල යෙදී සිටි අතර පස්‌ යොදුන් රට වගුරු බිම්වල ජලය බස්‌වා හැර ඒවා අස්‌වද්දන ලදී. උතුරු දිග තැනිතලාවේ එක්‌ මායිමක්‌ වන දැදුරු ඔයේ ජලය හරවා නිකවැරටිය අසල කරවූ මාගල්ලා වැව ජලයෙන් පිරවීය. මේ මගින් වන්නි හත්පත්තුව අස්‌වැද්දීමට ඔහු සමත් විය. මේ හැර අනුරාධපුර පශ්චාත් අවධියේ දක්‌නට තිබූ ගම්බද වැව් අමුණු සියල්ල ප්‍රතිසංස්‌කරණ කරවා තම විජිතයෙහි බත බුලත සුලභ කරවීය.


මුළු මනින්ම රට එක්සත් කිරීමට ප්‍රථම ඒ ඒ ප්‍රදේශ වල පාලනය ගෙන ගිය රජවරු හා සටන් වැදීමට පරාක්‍රමබාහු රජුට සිදුවූ අතර ඇතැම් ප්‍රදේශ යුද ජයග්‍රහණ තුලින්ද ඇතැම් රාජ්‍ය සමග සාමාකාමී පිළිවෙතක්ද අනුගමනය කරමින් පසුව ඒ රජවරුන්ගේ ඇවෑමෙන් එම ප්‍රදේශද තම බල ප්‍රදේශයට ඈදා ගන්නා ලදි.


උදාහරණයක් ලෙස ගතහොත් පරාක්‍රමබාහු රජුට පොළොන්නරුව ලැබීමට ප්‍රථම එහි රජකම් කළේ ගජබාහු රජු වන අතර ඔහු සමග යුද්ධයේදී වැඩි වාසි අවසානයේ පරාක්‍රමබාහු රජුට ලැබෙමින් තිබියදී ඔහුගේ අමාත්‍ය මණ්ඩලයේ බහුතරයක් එවූ සංදේශයක සදහන් වූයේ “ගජබාහු රජු ජීවත්ව සිටින තාක් රටවැසි මහජනයා ඔබ වහන්සේගේ වසඟයට නොපැමිණෙන්නාහ. එබැවින් ගජබා රජ මරා දැමිය යුතුය” යන්නයි. මේ යෝජනාවෙන් කම්පනයට පත් පරාක්‍රමබාහු රජු ගජබාහු රජු මරා දැමීම අභිප්‍රාය නොවන බවත් ලෝ සසුනේ පැවැත්ම උදෙසා මෙම යුද්ධයන් කරනා බවත් දන්වා යැවූ රජතුමා ගජබාහු රජතුමා සමග සාමකාමී සහජීවනයකටද මගපාදා ගත්තේය. මේ වැඩ පිළිවෙල නිසා අමාත්‍යවරුන් පැවසුවාට වඩා වෙනස් දෙයක් සිදුවූ අතර මහජනයා පෙරටත් වඩා පරාක්‍රමබාහු රජුකෙරේ පැහැදීමක් ඇති කර ගත්තෝය. ඒ අනුව පෙනී යන්නේ යුද්ධ කිරීමෙන් ජයගත හැකි මූත් දීර්ඝකාලීනව ඇතැම් අවස්ථාවල යුද්ධයක විනාශකාරී පිළිවෙතට වඩා සාමාකාමී හා උපක්‍රමශීලි වැඩපිළිවෙලක් අනුගමනය කිරීම වඩාත් කාලෝචිත බවයි.


එසේම සියළු කාරණා සපුරාගෙන යුද්ධයක් ආරම්භ කොට එය පවත්වාගෙන යාම සෙන්පතියන්ට භාරදී පසෙකට වී සිටීම පරාක්‍රමබාහු රජු සිදු නොකළ බව මහාවංසයේද සදහන්වේ. නිරතුරු සේනා ධෛර්යමත් කිරීමට යුද බිමට යෑම මෙන්ම තීරණාත්මක අවස්ථාවලදී තමන්ද සටනට සහභාගීවීම පරාක්‍රමබාහු රජු අනුගමනය කළ සාර්ථක ක්‍රියාමාර්ගයක් විය.


ඇත්, අස්, රිය, පාබල යන චතුරංගනී සේනාවට අමතරව මේ සේනාවන් හා එක්ව ඉංජිනේරු ශිල්පය පිළිබදව දැනුම ඇති වෘත්තියන්ද අනුයුක්තව එදා පරාක්‍රමබාහු රජුගේ හමුදාව ශක්තිමත් කර තිබුනි. උදාහරණයක් ලෙස දැක්වුවහොත්, වර්ථමානයේ මෙන්ම තමන්ට තරණය කිරීමට ජල ප්‍රවාහක් තිබේ නම් ඒ මතින් ඉතා ඉක්මනින් දැවයෙන් ශක්තිමත් පාලම් ගොඩ නැගීමට තරම් එදා අතීතයේදීද ඔවුන් සමත් වූ බව පැවසේ.


පරාක්‍රමබාහු රජුගේ විශේෂත්වය වූයේ යුද කාර්යය සදහා සම්මත ක්‍රමයෙන් බැහැර ක්‍රමවේදයන් පවා යොදවා ගැනීමයි. ඔහුගේ හමුදාවේ චරපුරුශ සේවය සදහා සොරු වැනි නීතියෙන් බැහැර ක්‍රියාකාරකම් කළ පුද්ගලයන් යොදා ගත්තේ ඔවුන්ගේ වෘත්තීමය හැකියාව ඒ සදහා ඉහළ වීම නිසයි. එසේම රාත්‍රී ප්‍රහාර සදහා සොරු මෙන්ම වැදි පිරිස්ද යොදා ගත් අතර සතුරු බලකොටු රහසේම බිදීම සදහාද සොරුන් තීක්‍ෂන අයුරින් භාවිතා කිරීමට තරම් පරාක්‍රමබාහු රජු දක්‍ෂයෙකු ‍විය. තවද මේ ආකාරයේ සම්මතයෙන් බැහැර ක්‍රියා වල නිරත පුද්ගලයන් යොදවා සතුරු පාලකයන්ගේ බල ප්‍රදේශ තුළ විවිද නොසන්සුන් තත්ත්වයන් ආදිය දියත් කිරීම තුලින් එම ප්‍රදේශ අනාරක්‍ෂිත හෝ අ‍රාජික කිරීම තුලින් ඒ ඒ ප්‍රදේශ වල ජනතාව තුල තම පාලකයා දුර්වල ‍අයෙකු සේ හැගවෙන සේ කටයුතු කර ජනතාව බිදවීමේ උපක්‍රමද සිදුකරන ලද බව පැවසේ.


සතුරා පරාජය කිරීමට කාලයට, ප්‍රදේශයට හා අවස්ථාවට ඔබින අයුරින් යුද උපක්‍රම පරාක්‍රමබාහු රජුගේ හමුදාව විසින් දියත් කරන ලද බව පැරණි මූලාශ්‍ර වල සදහන්වේ. බිය ජනක බොරුවලවල් සහ අගල් ඒ අතරින් ප්‍රධාන කොට ගත්තේය. මාණාභරන නම් රජුට විරුද්ධව කරන ලද සටන් වලදී තිස් රියනක් පමණ ගැඹුරට සාරන ලද අගල් තුල තියුණු උල් කටු සිටුවා වැලි සහ වියලි පත්‍ර වලින් වසා සකස් කර තිබේ. එසේම කඳවුරු මධ්‍යයේ සිව්මහල් මන්දීරයක් කරවා ඒ මත සතුරාට පහර දීම සදහා ධනූර්ධයන් යොදවා තිබුණි. එය නූතන සටන් ක්‍රමවලදී සනයිපර් වෙඩික්කරුවන් යෙදීම හා සමානය. මන්ද සතුරු භූමියේ අනාරක්‍ෂිතව ගැවසෙන සෙබළුන්ට කොයිමොහොතකවත් හිතේ නිදහසින් ඔබ මොබ ගමන් කිරීම මෙම පොළවෙන් ඉහල මට්ටමක සිට ධනූර්ධයන් වෙතින් අවස්ථාවක් නොලැබීම මෙන්ම ඉහළ සිට පහසුවෙන්ම ඉලක්ක ලබා ගැනීමට හොද දෘෂ්ඨි පථයක්ද මෙම සටන්කරුවන්ට ලැබුන හෙයිනි. ඊතල වලින් විද සතුරන් මැඩීම මෙන්ම මෙම ප්‍රාසාදයේ සිට සතුරන් වෙත ගල් විදීම සහ ගිනි ගෙන දැවෙන උණදඩු කැබලි සතුරන් වෙත එල්ල කිරීම තුලින්ද සතුරාට ලැබුනේ අතිශය භීතියකි.


සිංහල රජවරුන් කරනා ලද මුහුදු සටන් පිළිබද තොරතුරු ගෙන ඒමේදීද මුල් තැනක් ගන්නේ පරාක්‍රමබාහු රජුයි. ඔහු සහ ගජබාහු රජු අතර මුහුදු සටන්ද පැවති බව පැවසෙන අතර විදේශීය රටක් ආක්‍රමණය කිරීම පිළිබදව පැවසීමේදීද ප්‍රධාන තැනක් ගන්නේ පරාක්‍රමබාහු රජු සහ ඔහුට පෙර අනුරාධපුර යුගයේ රජකම් කළ ගජබා රජුයි. විශේෂයෙන් අනෙකුත් රජවරුන් විදේශීය සටන් වලට සම්බන්ධව ඇත්නම් ඒ එම රටවල සිටි මිත්‍ර ර‍ජවරුන්ගේ ඉල්ලීම මතයි.


පරාක්‍රමබාහු රජු ආක්‍රමණය කළා යයි පැවසෙන විදේශීය රට රාමඤ්ඤ දේශයයි. වර්ථමානයේ බුරුමය නැතහොත් මියෙන්මාරය ලෙස හැදින්වෙන්නේ එම දේශයයි.


අනාධිමත් කාලයක පටන් ලංකාව හා රාමඤ්ඤ දේශය අතර සබඳතා පැවැත්වුන අතර මේ නිසා මුහුදු මාර්ගයෙන් දෙරට අතර වෙළදාමේ යෙදෙන්නන්ද සිටිහය. එහෙත් වරක් මෙරටින් ගිය යමෙකුගේ කේලම්බස් ඇසීමෙන් කුපිත වූ අරිමද්දන නම් රාමඤ්ඤ රජු මෙරටින් ගිය තානාපතින්ට සහ වෙළදුන්ට නිගරු වන ලෙස සැලකීම හේතු කරන කොට ගෙන දෙරට අතර හොද හිත පළුදු විය. තවද මෙරටින් එරටට නැව් පැමිණීමද ඔහු විසින් තහනම් කරන ලදි. මෙය පිළිබදව නොසතුටට පත්වූ මහා පරාක්‍රමබාහු රජු රාමඤ්ඤ දේශයේ පාලකයාට විරුද්ධව යුද ප්‍රකාශ කිරීමට තීරණය කරන ලදි. මේ සදහා සිය පූර්ණ කාලය හා ශක්තිය යෙදවීමටද ඇප කැප වූ රජු මාස කිහිපයකින් ඒ සදහා අවශ්‍ය සියළු දේ සම්පාදනය කර ගැනීමටද සමත් විය.


ඇමතිවරු සිය කැමැත්තෙන්ම මෙම සටනේදී ඒ ඒ කාර්යය සදහා නායකත්වය ලබාදීමට ඉදිරිපත්විය. ප්‍රධානම අවශ්‍යතාවය වූ නැව් සිය ගණනක් පස් මසකින් තනා ගත් බව පැවසෙන අතර ඒ වෙනුවෙන් ලක්දිව වටා සමුද්‍ර තීරය එකම නැව් කම්හලක් බවට පත් කරන ලද බවද පැවසේ. සේනාව සදහා වර්ෂයකට අවශ්‍ය ආහාරපාන සහ මාර්ගෝපකරණ කඩිනමින් නැව්වලට පුරවන ලදි. යකඩින් තනන ලද යුද ඇඳුම්, ගෝන හමින් කරන ලද සන්නාහ, හරක් අං වලින් නිම කළ කොපු වල තැන්පත් කළ විශ පෙවූ ඊතල වලින් තුවාල ලබන්නන් සුවපත් කිරීමට අවශ්‍ය ඖෂධ, අනේක විෂ මුසු ද්‍රව වලින් විෂොපසමනය සදහා අවශ්‍ය ඖෂධ, සහ ශල්‍යකර්ම සදහා නිපුණත්වයෙන් යුදු වෙදැදුරන් හා ඔවුන්ට සහය වීම පිණිස පරිවාර ස්ත්‍රීන්ද ‍ඇතුළුව මහා යුද සේනාවක් රාමඤ්ඤ දේශය ආක්‍රමණය සදහා යවන ලදි.


රාමඤ්ඤ දේශයේ සටනින් මහා පරාක්‍රමබාහු රජු ජයගත් අතර පසුකාලීනව සිය මිතුරු රාජ්‍යයන්ගේ අවශ්‍යතා අනුවද මෙරට ‍වීරෝධාර හමුදාව ඒ රටවලටද පිටත් කොට ඔවුන්ට සහය වූ බවද මහාවංසයේ සදහන්වේ.


පෙර පැවසූ පරිදි ගජබා රජුද සොලී රාජ්‍ය ආක්‍රමණය කොට ජයග්‍රහණය කළ රජකෙනෙකි. එසේම චරපුරශ ‍සේවාවේ යෙදී රටේ ඇති ගැටළු පිළිබදව දැනගැනීමට පෞද්ගලිකවම යෙදුන නරපතියෙකු ලෙසද ගජබා රජු හැදින්විය හැකිය.


රාජ්‍යයේ කටයුතු අන්‍යන්ගෙන් නොවිචාරා තමන් විසින්ම දැනගතහොත් යෙහෙකැයි සිතා ගජබා රජු රාත්‍රියෙහි අප්‍රසිද්ධ වේශයෙන් අනුරාධපුර නුවර වීථිවල ඇවිදින්නට පටන් ගත්තේය. මෙසේ ඇවිදින එක්‌ රාත්‍රියකදී ගෙයි දොර වසාගෙන එක්‌ දුප්පත් කනවැන්දුම් ස්‌ත්‍රියක්‌ හඬන බව රජුට ඇසුණේය. රජ තෙමේ ඒ ගෙයි දොර සුණු ගා සළකුණු කොට මාළිගාවට පෙරළා ගොස්‌ පසුදින උදෑසන ඇමැතිවරු රැස්‌ කොට රාජ්‍යයෙහි යම්කිසි අයුක්‌තක්‌ හෝ අපරාධයක්‌ සිදුවී තිබේදැයි විචාළේය. එවැනි අපරාධයක්‌ සිදුවී නැතැයි ඇමැතිවරු කීහ. ගජබා රජතුමා විසින් රෑ සළකුණු කරන ලද ගෙයි සිටි ස්‌ත්‍රිය ගෙන්වා රාත්‍රියෙහි හඬමින් සිටි කරුණු විචාළේය.


ගජබා රජුගේ පියා වූ වංකනාසික තිස්‌ස රජුගේ කාලයේ සොලීන් විසින් ලක්‌වැසියන් දොළොස්‌ දහසක්‌ අල්වාගෙන යන කල ඇගේ පුත්‍රයන් දෙදෙනාද අල්වාගෙන යනු ලැබූ ශෝකයෙන් තමා හැඬූ බව ඕතොමෝ කීවාය. ඒ ඇසූ ගජබා රජ බොහෝ සේ කිපී සොළී රජුගෙන් පළිගැනීමට අදහස්‌ කළේය.


කරිකාල් නම් සොළී රජු විසින් කරන ලද සාහසික ක්‍රියා ඇසීමෙන් කෝපයට පත් ගජබා රජ සොළී රටට යුධ පිණිස යැමට මහත් සේනාවක්‌ රැස්‌ කළේය. ගජබා රජු තමාගේ නීලමහා යෝධයා නමින් ප්‍රසිද්ධව සිටි යුධ සේනාධිපතියා ප්‍රධාන බල සෙනඟක්‌ සමඟ යාපා පටුනෙන් නැව් නැගී සොළී රටට ගොඩ බැස නාලන්කිලි රජුට විරුද්ධව යුද ආරම්භ කළේය. එසේ යුද කොට ජයගත් අතර තම මව්බිමෙන් රැගෙන ගිය ලක්වැසියන් දොළොස් දහසද සමග එයට එකටඑක කිරීමක් ලෙස සොළීන් දොළොස් දහසක්ද මෙරටට රැගෙන එන ලදි.


තවද වළගම්බා රජු කාලයේදී සොළී රටින් ලක්‌දිවට පැමිණි සොළී අධිපතීන් සත් දෙනාගෙන් එක්‌ අයෙක්‌ අනුරාධපුර මාළිගාවේ තිබී පැහැරගෙන සොළී රටට ගෙනගිය බුදුරජාණන්වහන්සේගේ පාත්‍රා ධාතුවද සොළී මිනිසුන් විසින් පූජනීය වස්‌තුවක්‌ මෙන් තබාගෙන සිටි පත්තිනි දේවියන්ගේ රන් සළඹ ද සතර දේවාලයේ දෙවියන්ගේ ආයුධ ද ගජබා රජු විසින් සොළී රටෙන් ලක්‌දිවට ගෙනෙන ලදී.

මහා පරාක්‍රමබාහු රජුගේ ඇවෑමෙන් පොළොන්නරු රාජධානියේ රජකමට පත් රජවරුන් මහා පරාක්‍රමබාහු රජු තරම් බලවන්තයන් නොවූ අතර ඒ ඒ රජවරුන් රජකම් කළ කාලයද කෙටි කාලීන විය. මහා පරාක්‍රමබාහු රජුට අමතරව පොළොන්නරු රාජධානියේ රජකම් කළ කැපී පෙනෙනම රජකෙනෙකු ලෙස සැලකෙන්නේ නිශ්ශංකමල්ල රජු වන අතර ඔහු යුද කර්මාන්තයට වඩා අනුන් කළ නිර්මාණ වලට පවා සිය නම ඇතුලත් කර ශිලා ලේඛන පිහිටුවීම පිණිස අවධානය යොමු කළ අයෙකු ලෙස බොහෝ ‍මූලාශ්‍ර වල සදහන්ය. ‍මහා විජයබාහු රජුගෙන් ඇරඹුන පොළොන්නරු රාජධානිය අවසන් වන්නේ කාලිංඝ මාග නම් දරුණු විදේශීය පාලකයෙකු‍ගේ දීර්ඝ කාලීන පාලනයකට නතුව වන අතර ඔහු පරාජය කිරීමෙන් පසුව රජකමට පත්වන රජු සිය රාජධානිය ලෙස ගොඩනගන්නේ දඹදෙනියයි. ඉන්පසුව යාපහුව, කුරුණෑගල, ගම්පොල, කෝට්ටේ යන නගර කේන්‍ද්‍රගත කර ගනිමින් රාජධානි පිහිට වන අතර ලක්දිව අවසන් වශයෙන් එක්සේසත් කළ රජු ලෙස සැලකෙන්නේ කෝට්ටේ සිය වාසභූමිය කරගත් සයවන පරාක්‍රමබාහු රජුයි. ඉන්පසුව රජකමට පැමිණෙන රජවරුන්ට මුළු ලක්දිවම සිය අනසක යටතට ගැනීමට නොහැකිවන අතර සිංහලයේ අවසාන රාජධානිය ලෙස සැලකෙන්නේ මහනුවර රාජධානියයි.


පොළොන්නරු රාජධානියෙන් පසුව ඇතිවූ අනෙකුත් රාජධානිවල පාලකයන් බොහෝවිට ස්වදේශික අනෙකුත් පාලකයන් සමග විටින් විට ගැටුම් වල නිරත වූ අතර මෙම යුද්ධ වලටත් වඩා දරුණු හා මෙතෙක් මුහුණ නොදුන් ආකාරයේ ප්‍රහාරවලට ලක්දිව 16 වන සියවසේදී පෘතුගීසි ආක්‍රමණ සිදුවීමත් සමග ලක්වන්නට විය.


විශේෂයෙන් මෙතෙක් සිංහල හමුදාවන් හා සටන් කළ අනෙකුත් හමුදාවන් භාවිතා කළේද කඩු, දුනු ඊතල, හෙල්ල වැනි අවි ආයුද හා ඒවාට ඔබින ආකාරයේ යුද උපක්‍රම වූවත් පෘතුගීසි හා ඔවුන්ට පසුව මෙහි පැමිණි ලන්දේසි හා ඉංග්‍රීසින්ගේ ප්‍රධානම අවි ගිනි අවි වීම එතෙක් සාම්ප්‍රධායික තියුණු අවි ආයුද භාවිතයෙන් පමණක් සටන් කළ සිංහල හමුදාවන්ට ප්‍රභල අභියෝගයක් විය. සැහැල්ලු ගිනි අවි වලින් සතුරාට දුරක සිට ප්‍රහාර එල්ල කිරීමට හැකිවීම අක්‍රමණිකයන් සතුවූ වාසියක් වූ අතර එයටත් වඩා විනාශකාරී කාලතුවක්කු ඔවුන් සතුවීම බොහෝ යුද්ධ වලදී සිංහල හමුදාවට අවාසිදායක තත්ත්වයක් විය. මෙවැනි පසුබිමක් මත තැනිතලාවල සටන් කරනවාට වඩා භූමියේ වාසියද ලබා ගනිමින් සටන් කිරීම වඩාත් කාලෝචිත වූ අතර මොන අභියෝගය තිබුනත් ලක්දිව සිංහල හමුදාව තුල තිබූ අප්‍රතිහත ධෛර්යය, කැපවීම හා අධිෂ්ඨානය ආක්‍රමණිකයනගේ ගිනි අවි පරදවන සුළු වූ අතර මුල්ලේරියා, ගන්නොරුව සහ බලන ආදී ප්‍රදේශ වල පෘතුගීසි හා සිංහල හමුදාව අතර ඇතිවූ සටන් වලින් පෘතුගීසින්ට අත් වූයේ අන්ත පරාජයන්ය.


හෙළ සිංහල හමුදාව සතුව තිබූ මෙම ගුණාංග වලට අමතරව ඔවුන්ට ලැබුන මහඟු දායාදයක් විය. එනම් අංගම්පොර ශිල්පයේ නිපුණතාවයයි. අංගම්පොර ශිල්පයේ ඉතිහාසය රාවණා රජුගේ සමයටත් වඩා ඈත අතීතයක් දක්වා දිවයන බව පැවසෙන අතර විශේෂිතම කොන්දේසි සපුරන හා සුදුසුකම් සහිත අයට පමණක් පුහුණු කරන ලද මෙම සටන් ශාස්ත්‍රය සිංහල හමුදා‍යේ ඔද තෙද වැඩි වැඩියෙන් ඔප් නැංවීමට හේතුවූ බව අවිවාදයෙන්ම පිළිගැනේ.


සමහර රජවරුන් අංගම්පොර ශාස්ත්‍රය පිළිබදව ඉමහත් ගෞරවාදරයකින් සලකා තිබේ. රාවනා රජු සමයේදී අංගම්පොර ශිල්පය තවදුරටත් දියුණු හා ප්‍රභල තත්ත්වයකට ඒ සමයේ සිටි සෘෂිවරුන් විසින් නගා සිටවූ අතර රාවනා රජුද අංගම්පොර ශාස්ත්‍රයේ කෙල පැමිණි අයෙකු බව ඉතිහාස පුරාවෘත වල සදහන් වේ. රාවනා රජු සමයෙන් පසුව සිටි රට පාලනය කරන හැම පාලකයෙකුම අංගංපොර උගත යුතුයි යනුවෙන් නියමයක් ඇතිකරගෙන තිබේ. මේ අනුව රටේ පාලකයා දක්ෂ සටන් ශිල්පියෙකු විය යුතුය යන තැන පිහිටා ඉහළ කුලවතුන් හට මේ සටන් ශාස්ත්‍රය පුහුණු කළ යුතුය යන්න පාරම්පරිකව නියමයක් ඇති කර ගනු ලැබීය. රාවනාගෙන් පසුව එන හැම රජ කෙනෙකුම සම්බන්ධව අංගංපොර සටන් ශාස්ත්‍රය භාවිත කළ බවට තොරතුරු පවති. උදාහරණයක් ලෙස දුටුගැමුණු රජු සමයේ සිටි දස මහා යෝධයන්ද අංගංපොර පිළිබඳව හසල දැනුමකින් යුක්තවූ බව පැවසෙයි.


තවද වලගම්බා රජු සිය සේනා සංවිධානයේදී අංගංපොර භාවිත කළ බවත්, මහා පරාක්‍රමබාහු සමයේදී අංගං සටන් මධ්‍යස්ථාන පවා පවත්වාගෙන ගිය බවත් සඳහන් වී තිබේ. මෙලෙස ගලාගෙන ආ අපගේ අංගම්පොර සටන් ශාස්ත්‍රය වෙනස් මුහුණුවරක් ගත් යුගයක් ලෙස පෘතුගීසී ආක්‍රමණික සමය සඳහන් වේ. විශේෂයෙන් පෘතුගීසි තුවක්කු හා ඔවුන්ගේ සන්නාහ ඇඳුම් සමඟ මුහුණට මුහුණලා සටන් කරන්නට සිදු විය. එවකට සිටි දක්ෂතම අංගම්පොර සටන් ශිල්පියා ලෙස හැඳින්වෙන්නේ ටිකිරි කුමාරයා හෙවත් සීතාවක රාජසිංහ රජු ය. මේ යුගයේදී අංගං සටන් ශාස්ත්‍රය ඒ පැවැති තත්ත්වයට මුහුණ දිය හැකි අයුරින් වෙනස් කරමින් දියුණු තාක්ෂණයක් එක්කරනු ලැබී ය. මෙහිදී පෘතුගීසි සන්නාහ ඇඳුම් කපාගෙන යන පරිදි පහරදීම, පෘතුගීසීන්ගේ දිගු කඩු සමඟ ඒ වන විට භාවිත කළ කෙටි කඩුවලින් සටන් කරන්නේ කෙසේද යන්න පිළිබඳව විමසා අලුත් සටන් ක්‍රම රැසක් මේ යුගයේදී අංගම්පොර සඳහා එක්වනු ලැබීය.


මුල්ලේරියා වෙල පරදේශක්කාර පරංගින්ගේ රුධි‍රයෙන් රත් පැහැ ගැන්වුනා යයි කියන සිංහල යුද ඉතිහාසයේ අමරණීයම ජයග්‍රාහී සටනක් වන සීතාවක රාජසිංහ රජු මෙහෙයවූ මුල්ලේරියා සටන ජයග්‍රහණයටද මෙම අංගම්පොර ශිල්පයද ඉමහත් රුකුලක් වූ බව ඉතිහාසඥයන් පවා පවසයි. මේ අංගම්පොර ශාස්ත්‍රය පෘතුගීසීන්ට කොතරම් හිසරදහක් වුනිද යත් මුල්ලේරියා සටනින් පසු බොහෝ අංගං ශිල්පීන්ට පෘතුගීසීන් විසින් මරණය උරුම කර දෙනු ලැබීය.


පසුකාලීනව ලංකා‍වේ බලය අත්පත් කරගත් ඉංග්‍රීසින්ටද ක්‍රමයෙන් අංගම්පොර ශාස්ත්‍රය තමන්ගේ පාලනයට තර්ජනයක් බව වටහා ගත්තේ 1818 දී ඇතිවූ ඌව වෙල්ලස්ස කැරැල්ලත් සමගයි. විශේෂයෙන් කැරැල්ලේ ප්‍රමුඛතම නායකයා වූ කැප්පෙටිපොල මහ දිසාවේ සහ එම සටනේ ඉදිරිපෙළ නායකයන් බොහෝමයක්ම පාහේ අංගම්පොර ශිල්පයේ ඉහළම නිපුනතා‍වයෙන් යුතු වූවෝ නිසා අනාගතයේ නැවතත් මෙවන් කැරැලි ඇතිවීමට සටන් කලාවේ විශේෂ දස්කම් ඇති අය සිටීමද හේතුවක් විය හැකි බැවින් එය තහනම් කිරීමට ඔවුන් තීරණය කරන ලදි. ඒ අනුව 1818 දී බ්‍රිතාන්‍ය යටත් විජිත ආණ්ඩුව ගැසට් නිවේදනයක් මගින් මෙම කලාව තහනමනට ලක් කරන ලැබූ අතර එය පුහුණු වුවහොත් දණහිසෙන් පහලට වෙඩි තැබීමට අණ කෙරිනි. එනමුත් හෙළ සිංහළුන් මෙම පාරම්පරික සටන් කලාව කීප තැනකම රහසින් පුහුණු විය.


සිය දක්‍ෂතාවයන්ට අමතරව සටන් භූමියේ භූගෝලීය සාධකයන්ද සිය වාසියට හරවා ගැනීමට සිංයල හමුදා සමත් වූ බව අතීත තොරතුරු වල මනාව සදහන්‍ වේ. විශේෂයෙන් තැනිතලා පහතරට භූමිවලින් ඉවත්ව කන්ද උඩරට මහනුවර රාජධානිය ස්ථාපිත වීමේදී ගිරි දුර්ග, ජල දුර්ග, වන දුර්ග ආදිය යුරෝපීය ආක්‍රමණිකයන්ට ඉමහත් අභියෝගයක් වූ අතර අවස්ථාවාදී සිංහලයන් නොවන්නට මෙම බාධාවන් සිංහල රාජධානිය ඔවුන්ට අත්පත් නොවීමට හේතුවක් වන්නටද තිබුනි. විශේෂයෙන් වර්ථමානයේ මෙන් කදු කපා, තාර යෙදූ පුළුල් මංමාවත් නොවූ ඒ අවධියේ අසීරුවෙන් කදුහෙල් තරණය කොට කන්ද උඩරට සිංහල රාජධානිය ආක්‍රමණය කිරීමට පැමිණීමේදී බලන වැනි කපොලු වලදී ඉහළ සිට හෙලන ලද ගල් ආදිය නිසා සතුරන් විශාල ප්‍රමාණයකට ජීවිත අහිමි වූ බවද පැවසේ. තවද මේ තෙත් කලාපීය ප්‍රදේශ වල බහුලව ඇති ගංඟා ආදිය නිසා ඒවා තරණයට වැඩි මහන්සියක් හා කාලයක් යොදවන්නට සිදුවූ අතර මේ නිසා සටනට සූදානම් වීමට අමතර කාලයක් හා සතුරා පහසුවෙන් ඉලක්ක කර ධනූර්ධයන් යොදවා හෝ මෙම ගංඟාශ්‍රිතව සැඟව සිට මාරාන්තික ප්‍රහාර එල්ල කිරීමේ අවස්ථාවද සිංහල හමුදාව සතුවිය.


වන දුර්ග සම්බන්ධයෙන්ද සිංහලයන්ට අත්වූයේ වාසියකි. විශේෂයෙන් ඉංග්‍රීසින් විසින් අත්පත් කරගැනීමට ප්‍රථම, තෙත් කලාපීය කන්ද උඩරට පුරා හරිත වර්ණයෙන් යුතු වනාන්තර පැතිර තිබූ අතර භූමිය පිළිබදව සහ නිවැරදි ප්‍රවේශ සහ පිටවීමේ මාර්ග වැටහීමක් නොමැති පරදේශක්කාරයින් මෙම තුරුගොමු අතර අතරමංවූ විට නිරායාසයෙන්ම මේ ප්‍රදේශ පිළිබදව හොදින් දැන සිටි ස්වදේශික හමුදාවට ඉලක්ක වූ බව තර්කයකින් තොරවම ඔප්පු වේ.

ක්‍රි.ව. 1815 දී ඉංග්‍රීසින්ට නතුවූවත් සිංහල රාජධානිය බේරා ගැනීමට ක්‍රි.ව. 1818 දී කැප්පෙටිපොළ මහ දිසාවේ සහ ක්‍රි.ව. 1848 දී වීර පුරන් අප්පු නම් වීරෝදාර සෙන්පතියන් දියත් කළ සටන් අසාර්ථක වී තවත් වසර ගණනාවක් යන තුරු බෙලහීන සිංහල ජාතියක් බිහිකරමින් පැවතුනේ ඔවුන්ගේ හෝ ලක්දිව මිනිසුන්ගේ සටන් කලාවේ හෝ ධෛර්යයේ ඌනතාවයක් නිසා නොව අවස්ථාවාදී, බලලෝබීන් හෙළ ලක්දිව සිංහල ඉතිහාසය පුරාවටම සිටි හෙයිනි. කෙසේවෙතත් මෙහි සදහන් නොවූ තවත් වීරෝධාර පුරුෂ්‍යින් සහ කාන්තාවන් රැසක් ලක්දිව නිදහස, ජාතිය, ආගම රැක ගැනීම වෙනුවෙන් තම දිවි, ලේ මස් නහර දන් දුන්හ. තවත් කැපී පෙනෙන සටන් රැසක් මේ දේවල් රැක ගැනීම වෙනුවෙන් සිදුවුනෝය. ඒ සියල්ලේදීම තම රුධිරය ලක් මෑණියන් වෙනුවෙන් පිදූ ඒ අභීත මුතුන්මිත්තන්ට ලක්දිව ජනතාව සදා ණයගැතිය.

http://www.lakpedia.com/

Comments

Popular posts from this blog

ශ්‍රි ලන්කාවේ භාවිතා වන කාර් වර්ග

සිදිගිය-එරල්-මුහුද

ඊජිප්තු ශිෂ්ටාචාරය